මේ සටහන කොතැනින් කොහොම පටන් ගන්නවා දැයි නිශ්චිත අදහසක් මට නැත. එහෙත් ලිවිය යුතුම බව පමණක් දන්නා නිසා ලියන්නට පටන් ගතිමි.ජල ධාරිතාව වැඩි වන විට ජලාශවල වාං දොරටු විවර කරන්නාක් මෙන්, මගේ සිතිවිලි ජලාශය ද දැන් පිටාර ගැලීමට සූදානම් හෙයින් එහි දොරගුළු විවර කළ යුතුමය. එකින් එක පොරකමින්, තෙරපෙමින් එළියට ඒමට දඟලන නේක සිතිවිලි දැන් දැන් මා විඩාවට පත් කරනවා වැනි යැයි මට හැඟෙයි. ඉතින් කැමති නම් කියවන්න

Monday 25 February 2019

ඔබ මට ඩිංගක්වත් ආදරය කළාද?



දශක තුනකටත් වඩා එපිටට නිදහසේ මසිතට සැරිසරන්නට ඉඩදී මම බලා සිටියෙමි. සියලු දේ වෙනස්ව ඇති සෙයක් මට දැනෙයි. පාර දෙපස බලන්නට මගේ සිත මැලිවෙයි. අපහසුවෙන් වුව මම බලමි. මගේ සිතට දැනෙන සහනය අසීමිතය. ඒ යමපල්ලන් අද නොසිටි නිසාවෙනි. මම මගේම හිතට හිනැහෙමි. පිස්සුද . . . දැන් අවුරුදු කීයක් ගෙවිලද . . .  හිතාගෙන ඉන්නේ තාම අවුරුදු හයක පුංචි කෙල්ලක් කියලද?
 
ඔව් . . . හැම කෙනෙක්ටම වගේ මගේ පුංචි හිතටත් හොඳටම රිදුණු තැන් තියෙනවා. මතකයෙන් අයින් කරන්නම බැරි. ඒ නිසයි මේ පාරේ හදිසියෙන් හරි යන එන වෙලාවක මගේ හුස්ම නතර වෙනවා වගේ මට දැනෙන්නෙ. අදටත් ඒ රූප ඒ හඬවල් මගේ කන් ඇතුළේ දෝංකාර දෙනවා. 


ඉස්කෝලේ යන්න ගෙදරින් එලියට බැහැලා ඒදණ්ඩ උඩින් පාරට එන ගමන් මං හැමදාම එබිලා බලන්නේ ඈතින් ඒ යමපල්ලො ඉන්නවද කියලයි. ඒ මිනිස් රූප නෑ කියලා දකින එක තරම් සතුටක් . . . ඒත් හරියටම ඒ හරිය පහුකරන කොට රූප නැතත් ඒ හඬවල් ඈත ඉඳන් අපි ගාවට එනවා. මට හිතෙන්නේ කොච්චර හයියෙන් ඇවිද්දත් කකුල් නැවතිලා කියලයි. ඒත් මම දැන් දන්නවා දෙපා නෙවෙයි නැවතුණේ. . .  මගේ හිතයි.


පුංචි හිත් අඳුනන්නැති මිනිස් රූප එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳීවි.


ඔබට තාම හිතාගන්න බැහැ මං මොකක්ද කියන්න හදන්නේ කියලා. ඒ අමිහිරි හඩවල්වල අයිතිකාරයෝ උදේ ඉර පායන්නත් කලින් උගුරට වස හලාගෙන කැරකි කැරකි ඇවිත් පාර දෙපැත්තේ ඇණ තියාගෙන ඉඳගෙන ඉන්නවා. එයාලා කෑගහන්නේ අපේ තාත්තාගේ නම කියලා, ඒ නමට ඉස්සරහෙන් අකුරු දෙකක වචනෙකුත් එකතු කරලයි.


මට හිතුණේ මම ජීවිතේ අහපු කැතම වචනේ ඒක කියලයි. මං ඒකේ තේරුම දැනගෙන හිටියේ නෑ. ඒත් මට එහෙම හිතුණා. ජීවිතේ ඉස්සෙල්ලාම සිංහල ශබ්දකෝෂයක් දැකපු දවසේ මම මුලින්ම පෙරළලා බැලුවේ ඒ අකුරු දෙකේ වචනේ තේරුම.


ඒ අමිහිරි රූප, හඬවල් අස්සේ මං දකින්නේ සරමක් විතරක් ඇඳගෙන බමන මතින් පාර පැත්තට එන තාත්තාගේ අපැහැදිලි ඡායාවක් විතරයි.




ඉතිං මට කියන්න

අහස්කුස කලුවරයි

වැහි බිංදුව බිංදුව

ඔබ මතට වැටෙනවා

හරියටම හිතේ පිපාසය

සංසිඳුවන්නට වගෙයි

ඒත් . . . .

කවදාවත් එය වේවිද?



මේ පස් කන්ද යට

ඔබ සුවෙන් නිදි

මම තාමත්

ජීවිතේ ගැටගහනවා

මට ගැටලුවක් තියෙනවා

ඔබෙන් අහන්න

ඒ වුණත්

විසඳුමක් ලැබේදෝ මන්දා



හැමදාම මම එනවා

ඒත් ඔබ එන්නේ නෑ



වෙලාවකට හිතෙනවා

මේ දේ අහන්න

මම

ප්‍රමාද ද කියලත්

ඒත් කමක් නෑ

මට ඕනෑ

ඉක්මනින් හිත නිවාගන්න



ඔබ මට වෛර කළාද

මම ඔබට වෛර කළාද

හරියටම කියන්න දන්නේ නෑ මම

වෙන කිසිම කිසි දෙයක්

දැනගන්න

වුවමනා නෑ මට

එකම එක දෙයයි අවශ්‍ය

ඒත් . . . .

පිළිතුරු ලැබෙයිද?

කමක් නෑ

මම බලාගෙන ඉන්නම්

කවදාහරි ඔබ මට

උත්තර දෙනකල්ම



ඉතිං අහන්න

දැනගත යුතු දේ මට

ඇත්තම ඇත්ත කියන්න

තාත්තේ . . . . .

ඔබ මට

ඩිංගක්වත් ආදරය කළාද . . . . . .?





මතු සම්බන්ධයි . . . .

අම්මා

නොමැකෙන රූප රාමු පෙළක් පිළිවෙළක් නැති ලෙසින් මනස් දොර අභියස රඟ දෙද්දී දෙඇස් රතු වෙන්නට ඉඩ නොදී වළකාලමි හිනැහෙමි තැවෙමි හිත...